සතොස ආයතනයේ සේවකයින් දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට රුපියල් කෝටි හතරක පාඩුවක් සිදු කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වූ අල්ලස් නඩු දෙකකින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනා මහාධිකරණ නියෝග පරිදි නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (මාර්තු 26) නියෝග කළේ ය.
අල්ලස් කොමිසම විසින් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුව ගොනු කර තිබෙන ආකාරය නීතියට පටහැනි බව කොළඹ මහාධිකරණය තීන්දු කරමින් සැකකරුවන් මෙම නඩු දෙකෙන් නිදහස් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය වෙත දෙනු ලැබූ නියෝගයකට අනුව මහෙස්‌ත්‍රාත් අධිකරණය විසින් මෙලෙස සැකකරුවන් නිදහස් කළේ ය.
2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ සතොස ආයතනයේ සේවය කළ සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත්කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට රුපියල් කෝටි හතරක පාඩුවක් සිදු කළේ යැයි එවකට වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස හිටපු සභාපතිවරයෙකු වන නලින් ප්‍රනාන්දු සහ සතොස හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු වන මොහොමඩ් මොහිදීන් සාකීර් යන අයට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා ගොනු කර තිබිණි.
මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ එම නඩුව ගොනු කිරීමේදී අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනා ලබාදුන් ලිඛිත අනුමැතිය එම කොමිසම විසින් අධිකරණය හමුවේ ගොනුකර නොමැති හෙයින් එය විභාග කිරීමට අධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනා නිදහස් කරන ලෙස ඔහුගේ නීතිඥවරු මාර්ගයෙන් මූලික විරෝධතාවයක් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබිණි.
එහෙත් මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම මූලික විරෝධතාවය ප්‍රතික්ෂේප කරමින් නඩුව විභාගයට ගැනීමට නියෝග කර තිබිණි.
ඒ අනුව, මහෙස්‌ත්‍රාත් අධිකරණයේ එම නියෝගය ප්‍රතිශෝධනය කර ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනා නිදහස් කරන ලෙස ඉල්ලා මහාධිකරණය හමුවේ ඔවුන්ගේ නීතිඥවරු විසින් ප්‍රතිශෝධන අයැදුම් පත් ගොනු කර තිබිණි.
එම ප්‍රතිශෝධන පෙත්සම විභාග කරමින් සලකා බැලූ මහාධිකරණය අල්ලස් කොමිසම විසින් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනාට එරෙහිව ගොනු කර ඇති නඩුව නීතියට පටහැනි ආකාරයෙන් ගොනු කර ඇති බව සඳහන් කරමින් ඔහුගේ පෙත්සම පිළිගන්නා බවත් ඒ අනුව, මේ පිළිබඳව ඉදිරි පියවර ගැනීම සදහා මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කරන ලෙසත් අධිකරණ රේජිස්ට්‍රාර්වරයාට නියෝග කර තිබිණි.
ඒ අනුව, අද දින මෙම නඩු කැඳවූ අවස්ථාවේ දී මහාධිකරණ නියෝග පරිදි සැකකරුවන් නඩු දෙකකින් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
Discussion about this post