ඉකුත් ජනවාරි 10 වන දා කලවංචිකුඩි ප්‍රදේශයෙන් වාර්තා වුණු 12 හැවිරිදි දැරියගේ මරණය ඝාතනයක් හේතුවෙන් සිදුවූවක් ලෙස වාර්තා වුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
අදාළ දැරියගේ මරණය සැක සහිත වීම හේතුවෙන් සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේ පූර්ණ වාර්තාව මඩකලපුව ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ඊයේ (23) ලබා දී තිබේ.
ඒ අනුව, අනාවරණ වී ඇත්තේ මෙම දැරියට දීර්ඝ කාලයක් සිදු කරන ලද පහරදීම් නිසා ඇති වූ තුවාල හේතුවෙන් විෂබීජ ශරීරගත වී මෙම මරණය සිදු වී ඇති බවය.
සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් ජනවාරි 30 වන දා කාන්තාවන් 3 දෙනෙකු ද ඇතුළුව සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණු අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අනුව අදාළ සැකකරුවන්ට මනුෂ්‍ය ඝාතන චෝදනා යටතේ නඩු පැවරීමට කටයුතු කරන බවය.
මිය ගිය දැරියගේ මව විදේශගතව සිටින බවත් දැරිය සිය මවගේ සහෝදරියක ළඟ හැදී වැඩී ඇති බවටත් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කලවංචිකුඩි පොලිසිය සිදු කරයි.
Discussion about this post