ඇමරිකානු ඩොලරය අතහැර දැමීමට ඉන්දියාවත් සැරසෙයි
ඇමරිකානු ඩොලරය භාවිතා නොකර රුසියාව සමඟ ගණුදෙනු කිරීමට ඉන්දියාව සැරසෙනවා.
ඉන්දියානු අපනයන සංවිධාන සම්මේලනයේ සභාපති, ඒ සක්තිවෙල් මහතා CNBC සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඒ අනුව, සෘජුවම ඉන්දීය රුපියල් සහ රුසියානු රූබල් වලින් ඉදිරියේදී සියලු ගණුදෙනු කිරිමට හැකිවනු ඇති බවයි.
ඒ අනුව අදාළ ක්‍රමවේදය පිළිබඳ ඉන්දියානු මහ බැංකුව සහ ප්‍රධාන බැංකු රැසක් සමඟ මේ වන විටත් සාකච්ඡා නිම කර ඇති අතර, මේ සතියේ සිට රුපියල් සහ රූබල් වලින් දෙරට අතර ගණුදෙනු කිරිම ඇරඹෙන බවයි වාර්තා වන්නේ.
“ඉන්දියාව විසින් රුසියාවට අපනයනය කරන්නේ කෘෂිකාර්මික සහ ඖෂධ වගේ සිමිත දේවල් ටිකක් විතරයි. හරි පොඩි ප්‍රමාණයක් ඒක. ඒත් මේ වෙනකොට රටවල් රැසක් රුසියාවට අපනයන කිරිම නවතා දැමීම නිසා, ඉන්දියාවට ලොකු අවස්ථාවක් ලැබිලා තියෙනවා තව භාණ්ඩ හා සේවාවන් රැසක් රුසියාවට අපනයනය කරන්න. මේක ලොකු අවස්ථාවක් ඉන්දියාවට” යැයි ඉන්දියානු අපනයන සංවිධාන සම්මේලනයේ සභාපතිවරයා කියා සිටියා.
ඇමරිකාව සහ යුරෝපයේ සම්බාධක හමුවේ රුසියාවට ඇමරිකානු ඩොලර් මඟින් ගණුදෙනු කිරිම නවතා දැමීමට සිදුවූ අතර, මේ වන විට රටවල් ගණනාවක් ඇමරිකානු ඩොලරය අතහැර සෘජු මූල්‍ය ගණුදෙනු පිළිබඳ සලකා බලමින් සිටිනවා.
විශේෂඥයින් පවසන්නේ, ඇමරිකානු ඩොලරය මත යැපීම නිසා රුසියාවට සිදුවූ අභියෝග හමුවේ, මේ වන විට අනෙකුත් රටවල් පවා ඇමරිකානු ඩොලරය අතහැර, ගණුදෙනු සඳහා වෙනත් මූල්‍ය ක්‍රම පිළිබඳ සලකා බලමින් පවතින බවයි