දෙල්ගොඩ පිහිටි පෞද්ගලික බැංකුවක් ඉදිරිපිටදී එම බැංකුවට තැන්පත් කිරීමට පුද්ගලයෙකු විසින් ගෙන පැමිණි රුපියල් ලක්ෂ 23ක් පැහැරගෙන යෑම සැලැස්මකට අනුව සිදුවූ එකක් බව පොලිසිය කියයි.
ඒ අනුව, සල්ලි බෑගය කොල්ලකා ඇත්තේ බැංකුවේ මුදල් තැන්පත් කරන්නට පැමිණි තැනැත්තාගේ ඥාති හිතවතුන් දෙදෙනෙකු බව ද අනාවරණය කරගෙන තිබේ.
එක්තරා පෞද්ගලික ආයතනයකට එකතුවන මුදල් දෙල්ගොඩ පිහිටි පෞද්ගලික බැංකු දෙකක තැන්පත් කිරීම සඳහා කළමනාකරුවන් දෙදෙනෙකු ඊයේ (25) උදෑසන වෑන් රියකින් දෙල්ගොඩ ප්‍රදේශයට පැමිණ ඇත. ඉන් අනතුරුව එක් කළමනාකරුවෙකු පෞද්ගලික බැංකුවක් අසලින් මුදල් බෑගයක් ද සහිතව බැස්සවූ රියැදුරා අනෙක් කළමනාකරු සමග ඊට මීටර් සියයකින් පමණ දුරකින් පිහිටි අනෙක් පෞද්ගලික බැංකුව වෙත ගමන්කර ඇත.
මුලින් බැසගත් කළමනාකරු මුදල් බෑගය ද සහිතව බැංකුව දෙසට ගමන් කරද්දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම මුදල් බෑගය පැහැරගෙන පලා ගොස් ඇත. බෑගය උදුරන්නට එක් පුද්ගලයෙකු උත්සාහ කරද්දී කොල්ලකරු කළමනාකරුගේ ගෙලේ දකුණු පැත්තට පහරක් ගසන අයුරු ඒ අසල තිබූ සී.සී.ටී.වී. කැමරාවේ සටහන් වී තිබිණි.
මේ බව නොදත් කළමනාකරු කොල්ලකරුවන් දෙදෙනෙකු පැමිණ තමාට පහරදී ලක්ෂ 23ක මුදල් සහිත බෑගය කොල්ලකා පලාගිය බව මීගහවත්ත පොලිසියට ගොස් පැමිණිලි කළේය.
පසුව සිද්ධිය සැලවී කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ඩයස් මහතා වහා මීගහවත්ත පොලිසියට පැමිණ සිද්ධියට භාජන වූ කළමනාකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට විය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මීගහවත්ත පොලිසියට පැමිණියේ සී.සී.ටී.වී. දර්ශන නැරඹීමෙන් පසුවය.
පසුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කළමනාකරුට පවසා ඇත්තේ තමන් සියල්ල දැනගෙන පැමිණි බැවින් බොරු නොකියා ඇත්ත කියන ලෙසය.
එහිදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කළමනාකරුගෙන් සිද්ධිය විමසා ඇති අතර ඔහු එහිදී පවසා ඇත්තේ කොල්ලකරු තමාට පහරදී මුදල් බෑගය ගෙන ගිය බවය. ඔහු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට පැවැසුවේ තමාගේ බෙල්ලේ දකුණු පැත්තට පහරවල් හතරක් දුන් බවකි.
මේ පිළිබඳව සැක ඇතිකරගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළේ ඔහුට පහරදුන් ආකාරය සී.සී.ටී.වී. දර්ශනවල ද පැහැදිලිව පෙනෙන්නට ඇති බව කියමින්ය.
අනෙක් කරුණ වූයේ අදාළ කළමනාකරු යතුරුපැදියේ පැමිණි පුද්ගලයන් පහරක් දෙන අවස්ථාවේ ඔහු එම පහරින් බේරී හිස පහත් කරගන්නා අයුරුද සී.සී.ටී.වී. කැමරාවල දර්ශන වී තිබීම ය. එමෙන් ම කළමනාකරු සැකසහිත යතුරුපැදිය අසලින් ම ගමන් ගන්නා ආකාරය ද එහි සටහන්වී තිබිණි.
විනාඩි විස්සක පමණ කළ ප්‍රශ්න කිරීමේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපක්‍රමශීලී ප්‍රශ්න කිරීමෙන් පසු එම කොල්ලය තමා විසින් සැලසුම් කළ එකක් බවත් යතුරුපැදියේ පැමිණියේ ඥාති හිතවතුන් බවත් ඔහු කීය.
තමා ලක්ෂ 23ක් පැහැරගෙන ගිය බවට පැමිණිලි කළ ද එම බෑගයේ එතරම් මුදලක් නොතිබූ බවත් ආර්ථික අහේනිය මත එවැන්නක් කිරීමට පෙලඹුණු බවත් ඔහු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඉදිරියේ පැවසීය.
ඉන් අනතුරුව අදාළ සැකකරුවන්ගේ විස්තර සොයා බලා ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ඩයස් මහතා මීගහවත්ත පොලිසියට නියෝග කළේ ය.
Discussion about this post