රාජාංගනය ඇඳි බෝක්කුවෙන් පහළට මෝටර් රථයක් පෙරළී යාමෙන් සිදුවූ මාරක රිය අනතුරකින් එම රථයේ ගමන් කළ අට හැවිරිදි පාසල් දැරියක් ජීවිතක්ෂයට පත්වී තවත් සිවුදෙනෙකු තුවාල ලබා ඇතැයි රාජංගනය පොලිසියේ රථවාහන අංශය පවසයි.
අද (මාර්තු 30දා) අලුයම 3.30ට පමණ පුත්තලම අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ රාජාංගනය ඇදි බෝක්කුව අසලදී මෙම අනතුර සිදුවී ඇති අතර ඉන් බරපතළ තුවාල ලැබූ අට හැවිරිදි පාසල් දැරිය ප්‍රතිකාර සඳහා නොච්චියාගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වී තිබේ.
අදාළ මෝටර් රථයේ පැමිණ ඇත්තේ එක ම පවුලේ සාමජිකයින් 5 දෙනෙකි.
රථය නොච්චියාගම දෙසට ධාවනය වන අවස්ථාවේ රථය පැදවූ පියාට නින්ද යාම හේතුවෙන් ඇදි බෝක්කුව අතරින් රථය රිංගා ගොස් ඇළට පෙරළී ඇති අතර රථයේ ඉදිරිපස මුහුණ අඩි හතරක් පමණ ගැඹුරේ ඇළ පතුලේ ගැටී නතරව තිබුණු බව පොලිසිය පවසයි.
අනතුරින් මරණයට පත්වූ දැරියගේ මව හා වැඩිමහල් සහෝදරිය බරපතළ තුවාල ලබා ඔවුන් ද නොච්චියගම රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇත.
පොලිසිය සඳහන් කළේ, රියැදුරුට හා අනතුරට ලක් වූ තවත් දැරියකගේ තත්ත්වය බරපතළ නොවන බවය.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටත් ඔවුන් මීට මාස තුනකට පමණ ඉහතදී නොච්චියාගම නගරයේ පදිංචියට පැමිණ ඇති බවටත් පොලිසිය තොරතුරු අනාවරණ කරගෙන තිබේ.
මෙම පිරිස ඔවුන්ට අයත් බෙලිඅත්ත ප්‍රදේශයේ ඉඩමක් විකුණා නැවත නොච්චියාගම නිවසට පැමිණෙමින් සිටියදී මෙලෙස අනතුරට පත්වී ඇත.
මහේෂ් විජේසූරිය – අනුරාධපුර
Discussion about this post